2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට තව පැයැ කිහිපයක් ඉතිරිව තිබියදී මේ වෙනකොට මුළු ලෝකෙම අවධානය දිනාගත් සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ (Cristiano Ronaldo) ගැන නම් එච්චර හොඳ ආරංචියක් නෙවෙයි ක්‍රීඩා මාධ්‍යවලින් වාර් තා වෙන්නේ. ලෝක කුසලානයට පෙර පෘතුගාලය සහභාගී වුණු අවසන් පුහුණු තරගයේදී රොනල්ඩෝ දැක්වූ දුර්වල දක්ෂතාවය නිසා මේ වෙනකොට සමස්ත යුරෝපීය ක්‍රීඩා මාධ්‍යවල දැඩි විවේචනයට සහ කනස්සල්ලට ඔහු ලක්වෙලා තියෙනවා.
නයිජීරියාවට එරෙහිව පැවැත්වුණු මේ උණුසුම් තරගයෙන් පෘතුගාලය ගෝල 2-1ක් ලෙස ජයග්‍රහණය කරන්න සමත් වුණත්, කණ්ඩායමේ ප්‍රධානතම ඉදිරිපෙළ ක්‍රීඩකයා මෙන්ම නායකයා වන රොනල්ඩෝට ලැබුණු ස්ථිර ගෝල ලබාගැනීමේ අවස්ථා කිහිපයක්ම ඔහු අතින් ගිලිහී යාම තමයි මේ විවේචනවලට ප්‍රධානතම හේතුව වුණේ.
මොකක්ද තරගයේදී CR7 ට වුණේ?
මුළු තරගය පුරාම රොනල්ඩෝ ප්‍රතිවාදී ගෝල සීමාව දෙසට ප්‍රහාර (Shots) 4ක් එල්ල කළත්, ඉන් එකක්වත් නිවැරදිව එල්ල කරගන්න ඔහුට හැකි වුණේ නැහැ. විශේෂයෙන්ම ඉතාමත් ලෙහෙසියෙන්ම ගෝල බවට පරිවර්තනය කළ හැකිව තිබූ අවස්ථා දෙකක්ම රොනල්ඩෝ අතින් අතහැරී යාම කාගේත් කතාබහට ලක්වුණා.
යුරෝපයේ ප්‍රධාන මාධ්‍ය මේ ගැන කිව්වේ මොනවාද?
රොනල්ඩෝගේ මේ අසාර්ථක වීම ගැන ලෝකයේ ප්‍රසිද්ධ ක්‍රීඩා පුවත්පත් සහ වෙබ් අඩවි වාර් තා කර තිබුණේ මෙන්න මේ වගේ අදහස්:
AS පුවත්පත (ස්පාඤ්ඤය): ඔවුන් රොනල්ඩෝගේ මේ දක්ෂතාවය හැඳින්වූයේ කිසිවෙකුට තේරුම් ගත නොහැකි "රහසක්" (Enigma) විදිහටයි. මීට පෙර චිලී රාජ්‍යයට එරෙහිව පැවැත්වුණු තරගයේදීත් රොනල්ඩෝට ගෝල රැස් කිරීමට නොහැකි වූ නිසා, ලෝක කුසලානයේ පළමු තරගයට පෙර පෘතුගාලයේ ප්‍රධාන ඉදිරිපෙළ ක්‍රීඩකයාගේ මේ පසුබෑම ලොකු ගැටලුවක් බව ඔවුන් පෙන්වා දෙනවා.
A Bola (පෘතුගාලය): තමන්ගේ රටේම ක්‍රීඩා පුවත්පතක් වන මෙහි රොනල්ඩෝගේ දින අඳුරු එකක් හෙවත් "අළු පැහැති රාත්‍රියක්" (Gray Night) ලෙසයි හඳුන්වා තිබුණේ.
RMC Sport (ප්‍රංශය): ප්‍රංශ මාධ්‍ය විසින් රොනල්ඩෝව ඉතාමත් "අදක්ෂ" හෝ "අනම්‍ය" (Clumsy) ක්‍රීඩකයෙකු ලෙස ලේබල් කර තිබූ අතර, තරුණ ක්‍රීඩක ෆ්‍රැන්සිස්කෝ කොන්සෙයිසාවෝ (Francisco Conceição) අවසන් මොහොතේ ගැසූ ගෝලය නිසා පෘතුගාලය බේරුණු බව ඔවුන් පවසා තිබුණා.
Corriere dello Sport (ඉතාලිය): ඉතාලි මාධ්‍ය රොනල්ඩෝ අතින් ගිලිහුණු අවස්ථා ගැන කතා කරනවාට වඩා, ජුවෙන්ටස් කණ්ඩායමට ක්‍රීඩා කරන තරුණ කොන්සෙයිසාවෝ පෘතුගාලයට ජයග්‍රහණය ගෙන ඒමට දැක්වූ දක්ෂතාවය අගය කිරීමට උත්සාහ කර තිබුණා.
Bild පුවත්පත (ජර්මනිය): ජර්මනියේ ප්‍රධානතම මාධ්‍යයක් වන මෙහි සඳහන් වූයේ ලෝක කුසලානයට සුදුසුකම් පවා ලබා නොමැති නයිජීරියාව වැනි කණ්ඩායමකට එරෙහිවවත් රොනල්ඩෝ තවමත් නිවැරදි ෆෝම් (Shape) එකට පැමිණ නැති බවයි. සාමාන්‍යයෙන් රොනල්ඩෝ සතු සුපිරි නිමාව (Finishing Accuracy) මේ තීරණාත්මක පුහුණු තරගයේදී දැකගත නොහැකි වූ බව ඔවුන් ලියා තිබුණා.
ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට ඔන්න මෙන්න තිබියදී රොනල්ඩෝ වැනි දැවැන්තයෙකුගේ මේ පසුබෑම පෘතුගාල රසිකයන්ට නම් එතරම් හොඳ ආරංචියක් නෙවෙයි . බලමු ඉදිරි තරගවලදී CR7 නැවතත් තමන්ගේ සුපුරුදු රිද්මයට එයිද කියලා!
