නියුරාලින්ක් පරදා චීනය පෙරමුණට! ලොව ප්‍රථම වාණිජමය මොළයේ තැන්පත් කිරීමේ චිපයට (Brain Implant) චීනයෙන් අනුමැතිය!

 


China approved world first commercial brain implant NEO by Neuracle Technology in Sinhala Andarenews

ඉලොන් මාස්ක්ගේ සුප්‍රකට නියුරාලින්ක් (Neuralink) සමාගමටත් පෙර, ලොව ප්‍රථම වරට වාණිජ මට්ටමින් රෝගීන්ට භාවිත කළ හැකි මොළයේ තැන්පත් කරන චිපයක් (Brain-Computer Interface - BCI) සඳහා නිල රාජ්‍ය අනුමැතිය ලබා දීමට චීනය සමත්ව තිබෙනවා.

චීනයේ ජාතික වෛද්‍ය නිෂ්පාදන පරිපාලනය (NMPA) විසින් මෙලෙස අනුමැතිය ලබා දී ඇත්තේ NEO නමින් හඳුන්වන විශේෂ මොළයේ තැන්පත් කිරීමේ උපකරණයකටයි. මෙම තාක්ෂණය නිපදවා ඇත්තේ චීනයේ ශැන්හයි නුවර පිහිටි 'Neuracle Technology' නම් ස්ටාර්ටප් සමාගම සහ සිංහුවා විශ්වවිද්‍යාලයේ (Tsinghua University) පර්යේෂකයන් පිරිසක් එකතුවෙන්.

NEO සහ නියුරාලින්ක් අතර ඇති ප්‍රධාන වෙනස කුමක්ද?

බැලූ බැල්මට මේ දෙකම මොළයේ සංඥා පරිගණකයකට සම්බන්ධ කරන උපකරණ වුවත්, මේවා ක්‍රියා කරන තාක්ෂණික ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම වෙනස්. ඉලොන් මාස්ක්ගේ නියුරාලින්ක් (Neuralink N1) චිපයේ ඇති සියුම් ඉලෙක්ට්‍රෝඩ කෙලින්ම මොළයේ බාහිකය (Cortex) ඇතුළටම විදිනවා. නමුත් චීනයේ NEO උපකරණයේ සංවේදක (Sensors) තැන්පත් කරන්නේ මොළය ආරක්ෂා කරන බාහිර පටලය (Dura Mater) මතයි.

මොළය ඇතුළටම විදින්නේ නැති නිසා, මොළයේ ලේ ගැලීම් සිදුවීමේ අවදානම හෝ පටක තුවාල වීමේ (Glial Scarring) අවදානම NEO උපකරණයේදී ඉතාමත් අවමයි. චීන නියාමන ආයතන විසින් මේ සඳහා ඉතා ඉක්මනින් අනුමැතිය ලබා දීමට ප්‍රධානතම හේතුවක් වී ඇත්තේද මෙම ඉහළ ආරක්ෂිත භාවයයි.

ම ඉන් සිදුවන කාර්යභාරය කුමක්ද?

මොළයේ සංඥා ලබා ගන්නා මෙම කාසියක් තරම් කුඩා NEO චිපය, එම සංඥා පරිගණකයක් වෙත රැහැන් රහිතව සම්ප්‍රේෂණය කරනවා. ඉන්පසුව පරිගණකය විසින් එම සංඥා හඳුනාගෙන, රෝගියා අතට පළඳින විශේෂ රොබෝ අත්වැසුමක් (Soft Robotic Glove) ක්‍රියාත්මක කරවීමට සමත් වෙනවා.

දැනට මෙම උපකරණය භාවිත කිරීමට අනුමැතිය ලැබී ඇත්තේ කොඳු ඇට පෙළේ ආබාධ (Spinal Cord Injuries) හේතුවෙන් අංශභාග තත්ත්වයට පත් වූ, වයස අවුරුදු 18ත් 60ත් අතර පසුවන රෝගීන්ගේ අත් නැවත ක්‍රියා කරවීමේ පුනරුත්ථාපන කටයුතු සඳහා පමණයි.

වෛද්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත පිම්මක්

2023 වසරේ සිට මේ දක්වා චීනය තුළ NEO උපකරණය ආශ්‍රිතව සාර්ථක සායනික පරීක්ෂණ (Clinical Trials) 36ක් පවත්වා තිබෙනවා. මෙතෙක් කල් රසායනාගාර සහ පර්යේෂණ මට්ටමින් පමණක් පැවති බ්‍රේන්-කම්පියුටර් ඉන්ටර්ෆේස් (BCI) තාක්ෂණය, සාමාන්‍ය රෝගීන්ට මිලදී ගත හැකි වාණිජ මට්ටමේ නිෂ්පාදනයක් බවට පත් කළ පළමු රට බවට පත්වීමට චීනයට මේ හරහා හැකියාව ලැබුණා.

ඇමරිකාව හෝ යුරෝපය තවමත් සායනික පරීක්ෂණ මට්ටමේ පසුවන පසුබිමක, චීනය වෛද්‍ය තාක්ෂණ ලෝකයේ ලබා ගත් මෙම ජයග්‍රහණය ඉතාමත් සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස වෛද්‍ය විද්‍යාඥයන් පෙන්වා දෙනවා.

Post a Comment

Previous Post Next Post