ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාව සඳහා වන ඔවුන්ගේ විස්තීර්ණ ණය වැඩසටහන යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 695 ක ණය මුදලක් නිල වශයෙන් අනුමත කර තිබේ. මෙවර ණය වාරිකය අනුමත වී ඇත්තේ රට තුළ පවතින දැඩි ආනයන පාලනයන් සහ බාහිර ගෙවීම් පැහැර හැරීම් කිහිපයක් මධ්‍යයේ වීම විශේෂත්වයකි.
IMF ආයතනය නිකුත් කළ නිල ප්‍රකාශයක දැක්වෙන්නේ, ශ්‍රී ලංකාව පසුගිය දෙසැම්බර් මාසය සඳහා වන මූලික ඉලක්ක සපුරා ඇති නමුත්, නව බාහිර ගෙවීම් පැහැර නොහැරීම සහ ආනයන සීමා පැනවීම් සම්බන්ධ කොන්දේසි නිසි පරිදි ඉටු කිරීමට අපොහොසත් වී ඇති බවයි.
ඕස්ට්‍රේලියාවට යන්න තිබූ මුදල්වලට මොකද වුණේ?
ශ්‍රී ලංකා මහා භාණ්ඩාගාරයේ (Treasury) සිදුවූ සයිබර් ප්‍රහාරයක් (Cyber Attack) හේතුවෙන් ඕස්ට්‍රේලියානු රජයට ගෙවීමට තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක ණය මුදලක් අදාළ පාර්ශවය වෙත ලැබී නොමැති බව IMF වාර්තාව අනාවරණය කරයි. පසුගිය නොවැම්බර් මාසයේ සිට මෙම බාහිර ණය ප්‍රමාණය ගෙවීම් පැහැර හැර ඇති අතර, මේ වන විට ඕස්ට්‍රේලියානු රජය සමඟ එක්ව ඒ පිළිබඳව පුළුල් පරීක්ෂණ පවත්වන බව රජය පවසා ඇත. මෙම තාක්ෂණික දෝෂය සුළු උල්ලංඝනය කිරීමක් ලෙස සලකා, ණය මුදල ලබා දීමට IMF එකඟ වී තිබේ.
වාහන ආනයන බදු සහ රුපියලේ අගය
2026 වසරේදී මෙරට රුපියලේ අගය වේගයෙන් පහත වැටීමත් සමඟ රජය විසින් වාහන ආනයනය සඳහා විශේෂ බදු (Import Surcharges) පැනවීමට කටයුතු කළේය. ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ මහ බැංකුවේ පවතින අස්ථායී මුදල් ප්‍රතිපත්ති හේතුවෙන් වෙළඳපොළ තුළ මෙවැනි අවිනිශ්චිත තත්ත්වයන් මතු වන බවයි. රුපියල බාල වීම නිසා අත්‍යවශ්‍ය ආහාර සහ බලශක්ති මිල ගණන් ඉහළ යන අතර, එය රටේ පීඩිත ජනතාවට දැඩි බලපෑමක් එල්ල කරයි.
‘ඩිට්වා’ සුළි කුණාටුව සහ සහන පැකේජ
මීට අමතරව, මෙරටට බලපෑ ‘ඩිට්වා’ (Cyclone Ditwah) සුළි කුණාටුවෙන් සිදු වූ විනාශය ප්‍රතිසංස්කරණය කිරීමට සහ පීඩාවට පත් ජනතාවට තාවකාලික සහන සැලසීම සඳහා 2026 වසරේදී රජය සිදු කරන මූල්‍ය වියදම් සාධාරණ බව IMF ආයතනය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

